ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරමට සම්බන්ධ මෙරට අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එම වාර්තාවල දැක්වෙන්නේ 1999 වසරේ දෙසැම්බර් මස 18 වනදා කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයකට අදාළව අධිකරණයෙන් වසර 200ක සිරදඬුවම් නියමව සිටින “කිඹුලාඇලේ ගුණා 9දෙනෙකු මෙලෙස තමිල්නාඩු දෙමළ සරණාගත කඳවුරකදී අත්අඩංගුවට පත්ව ඇති බවය. 

ඊට අමතරව ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් “කෙනඩි බුම්මා” , බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩූ කන්නා”, සුරංග ප්‍රදීප් නොහොත් “වැල්ලේ සුරංග”, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණි ෆොන්සේකා නොහොත් “කොට ගාමිණි”, ධනුක රොෂාන්, මොහොමඩ් අස්මින්, ලඩියා චන්ද්‍රසේන සහ තිලීපන් යන අයද වෙයි.

ඉන්දීය ඔත්තු සේවාව මෙම වැටලීම සිදුකර තිබුණි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි “කිඹුලාඇලේ ගුණා” මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම, කොල්ලකෑම් ඇතුළු චෝදනා රැසක් එල්ල වූ පුද්ගලයෙකි. 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ල වූ LTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද ගුණාට චෝදනා එල්ල වූ අතර ඔහු ඉන්දියාවට පළාගොස් තිබුණේ එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන අතරවාරයේදීය.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් “කෙනඩි බුම්මා” යනු කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන සිදුකරන වෙඩික්කරුවෙකි.

පොලිස් වාර්තා අනුව කෙනඩි සිදුකර ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 6කට අධිකය.

මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේපල මංකොල්ලකෑම් යන චෝදනා ද ඔහුට එල්ල වී තිබේ.

“කිඹුලාඇලේ ගුණාගේ” සමීපතමයෙක් වන අලහප්පෙරුමගේ සුනිල් ගාමිණි ෆොන්සේකා නොහොත් “කොට ගාමිණි” මිනිමැරුම් 15ක් පමණ සිදුකර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම වැල්ලේ සුරංග නැමැත්තාටත් නීතිවිරෝධි අයුතු ජනරාශිය සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතී.

ලැඩියා චන්ද්‍රසේන නැමැත්තා පාතාල කල්ලි නායක “සමයං” ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකි.

මිනීමැරුම්, ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම හවාලා ක්‍රමයට විදේශ මුදල් හුවමාරු කිරීම යන චෝදනා අත්අඩංගුවට පත් ලාංකිකයින්ට එල්ල වී තිබේ.

එමෙන්ම පාකිස්තානය කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන හාජි සලීම් සමග සම්බන්ධ වෙමින් පකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු මොවුන් විසින් මෙහෙයවන බවට ඉන්දීය ඔත්තු සේවාව අනාවරණය කරගෙන තිබේ.

පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ප්‍රධාන වශයෙන් මෙහෙයවන්නේ හාජි සලීම් බව නවදිල්ලියේ ත්‍රස්ත මර්දන කාර්යාලයේ වාර්තා පෙන්වා දෙයි.

BBC පුවත් සේවය මේ පිළිබඳව තොරතුරු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් ලාංකික සැකකරුවන් තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් යළි පණගැන‍්වීමට උත්සාහ කර ඇතැයි කරුණු අනාවරණ වන බවය.

ඊයේ අත්අඩංගුවට ගත් කිඹුලාඇලේ ගුණා සහ කෙනඩි බුම්මා 2021 ජනවාරි මාසයේදීත් චෙන්නායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිරුචිරාපල්ලි විශේෂිත කඳවුරේ රඳවා සිටී.

එම කඳවුරේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් වෙතින් සන්නිවේදන උපකරණ රැසක් හමුවීමෙන් පසු නැවත වරක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගුණා සහ බුම්මා නම් සැකකරුවන් පසුගයි වසරේ අත්අඩංගුවට පත් අවස්ථාවේ උදර්පන නීති අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙතෙක් එම සැකකරුවන් දිවයිනට රැගෙන ඒමට හැකිවී නැත. 

ඔවුන් ඇතුළු ලාංකික සැකකරුවන් 9දෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ බලධාරීන් මෙරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ මෙවන් පසුබිමකය.

මේ අතර පොලිස් නිලධාරීයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ඉකුත් දා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත සැකකරු මුදාහරින ලෙසය.

මේ අතර මත්ද්‍රව්‍ය උවදුර පාසල් තුළ ව්‍යාප්ත නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ඉදිරියේදී පාසලට අතුළුවන්නන් සහ සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මගින් එම කාර්යය සිදුකළ යුතු බවට එහිදී යෝජනා වී තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top