පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිට ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය.

ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග පසුගිය පස්වනදා එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, පෞද්ගලික පළිගැනීමක් හේතුවෙන් අදාළ පාසලේ ආපන ශාලාවට පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය දමා ඇති බවය.

ඒ අනුව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාව සමග පැවැති ආරවුලක් හේතුවෙන් නඩු කටයුත්තක් පවතින පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇයගෙන් පළිගැනීම සඳහා පාසලේ ආපන ශාලාවට මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකු හරහා දැමූ බවය.

අදාළ සැකකරු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගෙන් මුදල් පොලියට ලබාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු හරහා ඔහු විසින් මත්කරල් හා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවද පොලීසිය පවසයි.

එලෙස මත්ද්‍රව්‍ය තමාට ලබාදුන් පුද්ගලයින් කිහිපදෙනා අතරින් අයෙකු හරහා මත්ද්‍රව්‍ය ආපන ශාලාවට දැමූ බවද ඔහු විසින් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගෙන ඇත.

ඒ අනුව ඔවුන් මත්ද්‍රව්‍ය ලබාගත් රුක්මල්ගමවිල ප්‍රදේශයේ පැවැති ළමා චිකිත්සකාගරයක් හා ඖෂධ මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලනු ලැබීය.

එහිදී අයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්කරල් 6,576ක් හා රුපියල් පනස්පන් ලක්ෂයකට අධික මුදලක් ද පොලීසිය සොයාගෙන තිබේ.

එම පුද්ගලයා විසින් ළමා චිකිත්සකාගාරයෙන් ප්‍රතිකාර ගැනීමේ මුවාවෙන් පැමිණෙන ළමුන් හා මත්ලෝලීන් වෙත මත්කරල් විකුණා ඇති බවට පොලීසිය සැක කරයි.

එමෙන්ම ඔහු මත්ලෝලීන්ට ප්‍රතිකාර සිදුකරන බව පවසා ඔවුන්ට ද මත් කරල් විකුණා ඇති බවට සැකකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top