මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක

anura kumara dissanayake

“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඉයේ (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික ජන බලවෙග්යේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය අනුර කරුණාතිලක යන අයද එක්වී සිටි අතර එහිදි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ.

“මැතිවරණ කොමිසම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණට රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ කණ්ඩායම මැතිවරණ කල්දැමීමට විවිධ උත්සහයන් ගනිමින් ඉන්නවා. පසුගියදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ කාර්යාලයට කැඳවා තිබුණා. ජනාධිපති කියන්නේ එජාප නායකයා. ස්වාධීන මැතිවරණ කොමිසම නාමයෝජනා ගැනීමට දින නියම කර තිබියදී එක් පක්ෂ නායකයෙක් විසින් කොමිසම කැඳවා කරමින් තිබෙන්නේ අනියම් බලපෑමක්. ඔහු එජාප නායකයා පමණක් නෙවෙයි පාර්ලිමේන්තුව විසින් තෝරාගත් ජනාධිපතිවරයා. අනෙක් පක්ෂ සිල්ලම කොමිසම හමුවීමට කොමිසමේ කාර්යාලයට යනවිට රනිල් පමණක් කොමිසම තමන්ගේ කාර්යාලයට කැඳවා තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදීමත් මැතිවරණයක් නොපැවැත්වීමට කරන බලපෑමත් බව සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ උත්සහ කරමින් ඉන්නේ අපේ රටේ ජනතා කැමැත්තට ඉඩ නොදී බලහත්කාරයෙන් පාලන බලය අල්ලාගෙන ඉන්න නම් එය විශාල ගැටුමක් ඇතිවීමට හේතුවක් වෙයි. එනිසා ආණ්ඩුව මැතිවරණය වැළැක්වීමට සිදුකරන සියලු දේ පරාජය කරන්න ජාතික ජන බලවේගය කටයුතු කරනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා නියමිත පරිදි මෙම මැතිවරණය පවත්වනවා. ඒ සඳහා මැතිහත්වීම අපි ලබාදෙනවා.

මේ මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. ගමේ මැතිවරණයක් කියලා මෙය සලකන්නේ. නමුත් මේ පළාත්පාලන මැතිවරණය පැමිණ තිබෙන්නේ රටේ ඉතාමත් තීරණාත්මක මොහොතකයි. අපේ රටේ ජනතාවගේ විශලා නැගිටීමක් සිදුවුනා. හිටපු පාලකයින් පන්නා දැම්මා. නමුත් හිටපු ජනාධිපති වෙනුවට නොහිතපු කෙනෙක් ජනාධිපති වෙලා. කැබිනට් එක වෙනුවට විකෘති කැබිනට් එකක් පත්වෙලා. අගමැති වෙනුවට කිසිදු තේරුමක් නැති කෙනෙක් අගමැති වෙලා. ඒ නිසා ජනතා මතය දැන් නිරූපනය වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ ඇත්ත කැමැත්ත පිළිබිඹු කරන ඡන්දයක් බවට මේ ඡන්දය පත්වෙනවා. ජාතික ජන බලවේගය උතුරු නැගෙනහිර ඇතුළු පළාත්පාලන ආයතන 340 වෙනුවෙන් තරඟවදින බවට මේ වෙනකොටත් මැතිවරණ කොමිසමට දැනුම් දීලා තිබෙනවා. ජනාතාවගේ අපේක්ෂාවන් ඉටු කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ගම සමඟ විශාල දේශපාලන වැඩකොටසක් සිදුකළා එය සාර්ථක වෙලා තිබෙනවා.

අපේ රට දීර්ඝ කාලයක් ගෙන ගිය දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ වෙනස් විය යුතු බවට ජනතාවගේ අපේක්ෂාවක් තිබෙනවා. ඒ වෙනස්වීම ජාතික ජන බලවේගය නියෝජනය කරනවා. මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපේක්ෂාවක් තිබෙනවානම් ඒ සඳහා ජාතික ජන බලවේගය තෝරාගන්න කියලා. මේ මැතිවරණ සටන ජාතික සටනක් බවට පත් කරන්න අපි සූදානම්. මේ පළාත්පාලන මැතිවරණය එතනින් නතර වෙන්නේ නැහැ. මේ මැතිවරණයෙන් පසුව ජනාධිපතිගේ තරමත් ආණ්ඩුවේ තරමත් ඔවුන්ට මැනගත හැකියි. ආණ්ඩුවටවත් ජනාධිපතිවරයාටවත් ජනවරමක් නැහැ. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් එක සනාථ වෙනවා. ඉන්පසු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අර්බුදයක් එනවා. ඒ නිසා අලුත් ආණ්ඩුවක් ගොඩනගාගැනීමේ අවස්ථාවක් නිර්මාණය වෙනවා. ජාතික ජන බලවේගය මේ මැතිවරණයේදී පළාත්පාලන ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් ජයග්‍රහණය ලබලා මහ ආණ්ඩුව ගොඩ නැගීමත් ඒ බලය මගින් ජනාධිපතිවරයාගේ බලය සූන්‍ය කිරීම දක්වාත් මේ දේශපලාන සටන සැලසුම් කර තිබෙනවා.

මේ රටේ වංචාව දූෂණය නැති කිරීම වෙනුවෙන් ජනතාව පාරට බැස්සා. බිඳවැටී තිබෙන නීතියේ විධානයේ ආධිපත්‍ය යළි තහවුරු කරන්න කියලා ජනතාව පාරට බැස්සා. හොරුන්ට දූෂිතයින්ට මේ රටෙන් පැනල යන්න දෙන්න එපා කියලා සටන්පාඨයක් තිබුණා. ඒ වගේම දීර්ඝ කාලයක් ගෙනයන මේ ආර්ථික දේශපාලනික ක්‍රමවේදයට ජනතාවගේ විරෝධයක් තිබෙනවා. එය වෙනස් කළ යුතු බවට සටන්පාඨයක් තිබෙනවා. ඒ සියළු සටන්පාට ජනතාවගේ වුවමනාවන් නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා අරගලයේ ජයග්‍රහණ තිබුණත් එහි අවසන් ප්‍රථිපලය උදාකරගන්න දැන් අවස්ථාව උදාවෙලා තිබෙන නිසා එම අවස්ථාව හරි විදියට යොදාගන්න කියලා. ගොවිජනතාවට, ධීවරයට, රාජ්‍ය සේවකයාට, වෘත්තීයවේදීන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට, මේ රට වෙනස් කළයුතුයි කියන සියලු දෙනාට අපි ආරාධනා කරනවා දැන් එය කරන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. රට වෙනස් කරන ජනතා මධ්‍යස්ථානය බවට ජාතික ජන බලවේගය පත්කරගන්න. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම රනිල් වික්‍රමිසංහ දැන් අලුත් නාටකයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ තමයි ඡන්ද තියන්න සල්ලි නැහැ කියන කතාව. ඒක අපබ්‍රංශ කතාවක්. පාලකයා ඕනෑම වෙලාවක භාණ්ඩාගාරය හිස් කරලා රටේ ආර්ථිකය විනාශ කරලා ඡන්ද තියන්න මුදල් නැහැ කියලා කියන්න පුළුවන්. අපි කියන්නේ රට විනාශ කරපු, භාණ්ඩාගාරය හිස් කරපු මේ පාලකයින් පන්නා දමන්න අනිවාර්යෙන් ඡන්ද තියන්න ඕනෑ කියලයි. රටක ආර්ථිතය වට්ටපු අයට භාණ්ඩාගාරය හිස් කරපු පාලකයින්ට ඡන්ද තියන්න මුදල් නැහැ කියලා පාලනය දිගටම ගෙනියන්න ඉඩ දෙන්න ඕනැද? රෝහලට බෙහෙත් ටික දෙන්න බැරි නාසා, දරුවන්ට ආහාර වේලක් දීගන්න බැරි නිසා, තරුණ තරුණියන්ට රැකියාවක් දෙන්න බැරි නිසා, ව්‍යාපාර කඩාවට්ටපු නිසා නිෂ්පාදකයින් විශාල ව්‍යසනයකට පත්කරපු නිසා, ධීවර ගොවි ජනතාවගේ ආදායම් මාර්ග අහුරපු නිසා මේ ආර්ථිකය කඩාවට්ටපු පාලකයින් පලවාහරින්න තමයි ඡන්දය ඕනෑ. ජනතාවගේ මතය ප්‍රකාශ කළ යුත්තේ ඒ නිසා. ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

තිස්ස අත්තනායක කියලා තිබුණා ජවිපෙ එයාලට අභියෝගයක් නෙවෙයි කියලා…

“තිස්ස අත්තනායක තමන්ගේ ගෙදරට මාධ්‍ය ගෙන්වාගෙන හැමදාමත් ජාතික ජනබලවේගයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරනවා. තවත් විවිධ අය අපි ගැන විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපේ ඡන්ද ප්‍රතිශතය මතක් කරනවා. අපිට බලය ගන්න බැහැ කියලා මතක් කරනවා. එහෙම් නම් අපි ගැන කතා නොකර සද්ද නැතුව ඉන්න. දැන් මේ සිදුවී තිබෙන්නේ ඒ අය විශාල බියට සහ කැළඹීමකට පත්ව තිබීමයි. ඇත්තටම මේ දේශපාලන කඳවුර පැනික් වෙලා ඉන්නේ. නායකයා වේදිකාවේ එකක් කියනවා. මහලේකම් තව එකක් කියනවා. ජාතික සංවිධායක තව කතාවක් කියනවා. මුළු කඳවුරම වියවුල්භාවයට පත්වෙලා. ඔවුන් කල්පනා කළේ රාජපක්ෂ ආණ්ඩුව, රනිල් රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටෙනකොට කුණුකානුව දිගේ ඔටුන් ගහගෙන ඇවිල්ලා එයාලගේ නායකයගෙ ඔළුවට වැටෙයි කියලා. නමුත් එය අද වෙනස් වෙලා තිබෙනවා. අපේ රටේ විශාල බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය වර්ධනය වෙලා තිබෙනවා ග්‍රාමීය ජනතාවගේ ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාවගේ විශාල මැදිහත්වීමක් සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන් වියවුලකට පත්වෙලා. ඒ වියවුලේ අඳෝනාව තමයි විටින් ටිට ඇහෙන්නේ. ඊයේ පොල්පිතිගම සමූපකාර සමිතියේ නිලවරනය තිබුණා. නියෝජිතයින් 130න් 92ක් ජයගත්තේ අපේ කණ්ඩායම. මහව, ගල්ගමුව, ගිරිබාව, කොබෙයිගනේ, සඳලංකාව වැනි ආයතන ජයග්‍රහණය කළා. සමූපකාර ඡන්දය කියන්නේ ගමේ ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙන ආකාරයක්. ඒ ජයග්‍රහණ දැක්කාම තවත් වියවුලට පත්වෙයි. ඒ නිසා අපිට ඒ අයත් එක්ක පැටලෙන්න ඒ අයට අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. අපිට ජාතික කර්තව්‍යයක් තිබෙනවා මේ රටට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා.”

දළදාමාලිගාවට අපහාස කළ පුද්ගලයා පිළිබඳ ඔබේ පක්ෂයේ ස්ථාවරය මොකක්ද?

“මැතිවරණයක් කිට්ටු වෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. ජනාධිපතිවරණය වෙලාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ දිනයේ රාත්‍රී නාගලෝකයෙන් නාගයෙක් ඇවිත් රටට සුභ පණිඩිඩයක් දෙනවා කියලා කතාවක් හැදුවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝටාභයට හදල තිබුණ බ්‍රෑන්ඞ් එක වෙනුවෙන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා නිර්මාණය කළා. එහි උච්ඡස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. අදත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න බැරිවුනා. තමන්ගේ බලය වෙනුවෙන් එවැනි විනාශකාරී දේවල් නිර්මාණය කළ පාලකයෝ අපේ රටේ ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස සංවර්ධනය වැනි දේවල් පිළිබඳ සාකච්ඡා කරනවා වෙනුවට ජාතිය ආගම ජාතික ආරක්ෂාව වගේ සංවේදී දේවල් සමඟ කරන දේශපාලන සූදුවක් තිබෙනවා. ඒ සූදුව තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ. ඔබ කියන පුද්ගලයා ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කළේ ගෝටාභය රාජපක්ෂ කඳවුර. නමුත් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන්. ඔහු යූටියුබ් ක්‍රියාකරුවෙක්. අපිට සම්මුඛ සාකච්ඡාවලට ආරාධනා කළා. අපි හැංගෙන්නේ නැති නිසා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුනා. ඔහු අපි ගැන ඇගයීම් වගේම අපි ගැන විවේචනාත්මක කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් ආණ්ඩුව විතරක් නෙවෙයි ඒ පිළිබඳව විපක්ෂනායකයාත් විවිධ කතා කියනවා පැනික් වෙලා. ඒ නිසා බුදුදහම පිළිබඳවත් එම සංස්කෘතිය පිළිබඳවත් නිසි මැනීමක් සහ ඇගයීමක් අපිට තිබෙනවා. ආණ්ඩුවත් පැනික් වෙච්ච කණ්ඩායමත් මේක අපිට සම්බන්ධ කරන්න දරණ උත්සහය විහිළුසහගතයි.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top