ගිරවකුගේ උදව්වෙන් නිවසක සිදුවූ ඝාතනයක සුලමුල හෙළිවූ හැටි…

girawek nisa minimarumak eliyata

කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකුට එම අපරාධයෙන් වසර නවයකට පසුව දිවි ඇති තෙක් සිරදඬුවම් නියමවීමේ පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය. එරට අග්‍රා අධිකරණයේ විශේෂ විනිසුරු මොහොමඩ් රෂිඩ් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.
මෙම තීන්දුව වසර 9කට පෙර සිදුවූ ඝාතනයක් ගැන වන අතර ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ ඇති කළ සුරතල් ගිරවෙකුගේ සාක්ෂියක් අනුව මෙම දඬුවම් නියමවීම එහි විශේෂත්වයයි. මෙලෙස ඝාතනයට ලක් වූයේ නීලම් ෂර්මා නමැති කාන්තාවකි. 2014 පෙබරවාරි 20වැනිදා අග්‍රා හි පිහිටි ඇගේ නිවසේදී එම ඝාතනය සිදුවී තිබේ. නීලම් යනු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක ප්‍රධාන සංස්කාරකවරයෙකු වූ විජේ ෂර්මාගේ බිරිඳයි. එදින ඇය එම නිවසේ තනිවම සිටින අවස්ථාවේදී මෙලෙස ඝාතනයට ලක්ව තිබේ. ඇයට අමතරව නිවසේ සිටි සුරතල් සුනඛයාද මෙම අපරාධකරුවන් අතින් ඝාතනයට ලක්ව තිබුණි.

මියගිය කාන්තාවගේ ස්වාමියා වන විජේ ෂර්මා පොලීසිය වෙත සඳහන් කර ඇති ආකාරයට එදින තමන් සිය පුත්‍රයා වන රාජේෂ් සහ දියණිය වන නිවේදිතා සමග ෆිරෝසාදාබාද් නුවර පිහිටි මංගල උත්සවයක් සඳහා සහභාගි වී තිබේ. එම අවස්ථාව සඳහා නීලම් සහභාගි වී නැති අතර, ඇය නිවසේ නැවතී ඇත. එදින රාත්‍රියේදී තමන් නැවතත් නිවසට පැමිණි අවස්ථාවේදී ඝාතනයට ලක්ව සිටි බිරිඳ සහ සුනඛයාගේ සිරුරු හමුවුණු බව විජේ ෂර්මා පොලීසියට පවසා තිබේ. එසේම නිවසේ සොරකමක්ද  සිදුව තිබූ ආකාරය පෙනුනු බව ඔහු පවසා ඇත.

ඒ අනුව, සිදුකළ මූලික පරීක්ෂණ යටතේ මෙය පැහැදිලිවම නිවස මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසකගේ අපරාධයක් බවට පොලීසිය කරුණු වාර්තා කෙරිණි. එහෙත් සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු පිළිබඳවත් හෝඩුවාවක් නොතිබුණි.  මේ අතරතුරදීම ඝාතනය සිදුවී දින කිහිපයක් ගත වෙද්දී සිය නිවසේ ඇති කළ ‘හර්කියුල්’ නම් සුරතල් ගිරවාගේ යම් වෙනසක් නිරීක්ෂණය කිරීමට විජේ ෂර්මා සමත්ව තිබේ. ඒ වනවිටත් ගිරවා කිසිදු ආහාරයක් නොගනිමින් බලාඋන් අත බලා  සිටින අයුරු ඔහු දැක තිබේ.

ඒ අනුව, මෙම ඝාතන ගිරවා දැක ඇති බවත්, එම කම්පනයෙන් ගිරවා පසුවන බවත් විජේ ෂර්මා තේරුම් ගෙන ඇත. වචන කතා කිරීමේ   හැකියාවද පැවැති ගිරවාගෙන් මේ පිළිබඳව විමසීමට ඔහු පියවර ගෙන ඇත්තේ ඉන් පසුවය. එහි මූලික පියවර ලෙස ඔහු තම නිවසට යන එත පුද්ගලයන්ගේ නම් ගිරවාට ඇසෙන්නට හඬ නගා තිබේ. එම නම් අතර ‘ආෂු’ නම් සිය ඥාති පුත්‍රයෙකුගේ නම ඇසෙද්දී ගිරවා යම් කලබලයකට පත්වන බව ඔහු නිරීක්ෂණය කර ඇත. එසේම යළි යළිත් එම නම කියද්දී ගිරවා ‘ආෂු-ආෂු’ ලෙස කෑ මොර දෙන බව ඔහු පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, ගිරවාගේ මෙම හැසිරීම සාක්ෂියක් බවට යොදා ගනිමින් පොලීසිය විසින් මෙම  ඝාතනයේ මූලික සැකකරුවෙකු ලෙස ආෂු නමැති එම පවුලේ ඥාති පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී   ඔහු තමා සිදුකළ අපරාධය පිළිබඳව පාපෝච්චාරණය කර තිබේ. ඒ අනුව මෙම ඝාතනය සහ නිවස මංකොල්ල කෑම සඳහා දායක වූ ඔහුගේ මිතුරෙකු වන රොනී මැසේ නමැත්තෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.  මෙම ඝාතනය සිදුකළ ආෂු  සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විජේ ෂර්මාගේ දියණිය වන නිවේදිතා ෂර්මා, ඔහු සිය නිවසට යන එන අයෙකු බවත්, වසර ගණනාවක සිට නිවසේ රැඳී සිටි අයෙකු බවත් පවසා තිබේ. එසේම සිය පියා විසින් ඔහුගේ උපාධිය වෙනුවෙන් රු.80,000ක මුදලක්ද ලබාදුන් බවත් නිවේදිතා සඳහන් කර තිබේ.

“ආෂු දැනගෙන හිටියා අපේ ගෙදර කොහෙද රත්තරන් බඩුයි, සල්ලියි තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි කවුරුවත් ගෙදර නැති වෙලාවක තමයි එයා මේ හොරකම කරන්න සැලසුම් කරලා තියෙන්නේ.”

ඇය සඳහන් කරන ආකාරයට ආෂු  ගෙදර සුරතල් සුනඛයාට පිහිපහර නවයක් එල්ල කර ඇති අතර, මව වෙත පිහිපහර 14ක් එල්ල කර තිබේ. ඒ අනුව මෙය පැහැදිලිවම ඝාතනය කිරීමේ සහ මංකොල්ල කෑමේ අභිලාෂයෙන් සිදුකළ අපරාධයක් බව ඇය පවසයි. මෙම අපරාධය සම්බන්ධයෙන් පැවැති නඩුවේදී නීලම්ගේ ගිරවාගේ අදහස් දැක්වීම අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සටහන්ව ඇති නමුත්, ඉන්දීය නීතියට අනුව ගිරවාගේ අදහස් දැක්වීම සාක්ෂියක් ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කෙරි නැත.

කෙසේ වෙතත්, අදාළ අපරාධය සිදුකළ බවට ආෂු සහ රොනී පිළිගැනීමත් සමග ඔවුන්ට මෙලෙස දඬුවම් නියම වී ඇත.

ඒ අනුව, දිවි ඇතිතෙක් සිරදඬුවමට අමතරව එක් අයෙකුට ඉන්දියානු රු.72,000ක් බැගින් දඩ මුදල්ද ගෙවීමට නියම වී තිබේ.  පොලීසිය පවසන ආකාරයට එම ඝාතනය සිදුවූ  අවස්ථාවේදී ‘හර්කියුල් කතා කළේ නම් උගේ ජීවිතයද අහිමි වී යාමට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඌ නිශ්ශබ්දව සිට පසුව එම තොරතුරු අනාවරණය කිරිම නිසා මෙම අපරාධයේ සුලමුල සොයා ගැනීමට හැකිවිය.  ‘හර්කියුල්’ද එම සිදුවීමෙන් ඊට මාස හයකට පසුව මරණයට පත්ව ඇත. එසේම සිය බිරිදගේ ඝාතකයා අනාවරණය කරගැනීමට සමත්වූ විජේ ෂර්මා 2020 වසරේදී අභාවප්‍රාප්තවී තිබේ.

“මගේ මවුපියන්ට වුවමනා වෙලා තිබුණේ ආෂුට මරණ දඬුවම දෙන්න. ඒ නිසා මේ අධිකරණ තීන්දුව ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ආෂුට එරෙහිව උපරිම දඬුවම ලබාදෙන්න කියලා අපේ මුළු පවුලම එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා.” යැයි ඔවුන්ගේ දියණිය වන නිවේදිතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top