ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ?

politics tax

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. 

2023 වසර සඳහා බදු අය කරගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (10) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණි.

2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සඳහා අය කරගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී. 

මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්ය. එම මුදල රුපියල් බිලියන 603 කි. 

එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම් නිලධාරීන් පෙන්වාදී තිබේ.

මෙම බදු මුදල් අය කරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 
බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබඳව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත. 

මෙම ගැටලු සමාලෝචනය කොට ඊට විසදුම් ලබාදීමට රජයේ මුදල් කාරක සභාව ඉදරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා පවසා ඇත.

මේ අනුව මෙම බදු අය කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරන ලෙසද කමිටු සභාපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදු අයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුවී තිබුණි.

මෙහිදී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුපකට කිසිදු අයුරකින් එලෙස බදු අය කිරීමක් සිදු නොකරන බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top