අටමස්ථානාධිපති නාහිමි බිරියට දුන් තෑගි ඔප්පුවේ අවුල උසාවියට

atamasthanadipathi

අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින්, එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය – මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාරිවරයාට ලබන මාර්තු මස 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළාය.

එදින හෝ එදිනට පෙර මෙම පෙත්සමට අදාළව අධිකරණයට වගඋත්තර ගොනු කරන ලෙසට දදිසා විනිසුරුවරිය විසින් වග උත්තරකාර රාජ්‍ය නිලධාරීන්ට තවදුටරත් නියෝග කරනු ලැබුවාය. අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 03/2 ඒ 260 ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අංක 234/ඒ 3 රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය ලිපිනයේ රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ අනුරාධපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලිපිනයේ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි.

පෙත්සම්කාර දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ, තමා ත්‍යාගලාභියා වෙමින් ද අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරි නිවාස නාහිමියන් ත්‍යාග දීමනාකරු වෙමින් ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු විසින් ලියා සහතික කරන ලද අංක 5493 සහ 2022.10.13 දින දරන තෑගි ඔප්පුව (අනුරාධපුර මහ නගර සභා සීමාව තුළ පිහිටි අනුරාධපුර නව නගරයේ පළමු පියවරෙහි ඇලබොඩ කැලේ නමින් හඳුන්වන ඉඩම) නිසි පරිදි සහතික කර උතුරු මැද පළාත් සභාවට ගාස්තු ද ගෙවා ඔප්පුව ලියාපදිංචිය සඳහා රජයට ගෙවිය යුතු ගාස්තු ද නිසි පරිදි ගෙවා ලියාපදිංචිය සඳහා දෙවන වගඋත්තරකරු (අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්) වෙත ඉදිරිපත් කළ බවයි.

එම ලේඛන ලියාපදිංචි කිරීම සඳහා දින පොත් අංක ඩී.බී 4787 සහ 2022.12.18 වන (අටමස්ථානාධිපති හිමියන් අපවත් වූ දින) දිනැතිව බාර ගත් බව ද අධිකරණයට සැල කර සිටින පෙත්සම්කාරිය, එසේ ලියාපදිංචිය සඳහා බාරගත් අංක 5493 හා 2022.10.13 දින දරන ප්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද තෑගි ඔප්පුව දෙවන විත්තිකරු (අනුරාධපුර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා ) විසින් ඔහුගේ අංක අනු/ඊ රෝ2/රපො/06/2021/42/2022 හා 2022.10.20 යන දින දාතමින් යුක්තව ඉඩම ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධ නොතාරිස් වෙත ආපසු එවා ඇති බව ද සඳහන් කරයි.

දෙවන වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉහත සඳහන් කරන ලද තෑගි ඔප්පුවේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ, ඔප්පුවේ පාර්ශ්වකරුවන් සහ සාක්ෂිකරුවන් කොළඹදී (සිරිනිවාස හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී) අත්සන් කළ බව නොතාරිස් සහතිකයේ සඳහන් වන නමුත්, නොතාරිස්වරයාගේ අධිකරණ කලාපය අනුරාධපුර අධිකරණ කලාපය වීම යනුවෙන් බව ද පෙත්සම්කාරිය ප්‍රකාශ කොට තිබේ.

පසුව මෙම තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට වග උත්තරකරුවන් විසින් ගෙන ඇති තීරණය නොපිළිගන්නා බවත්, තෑගි ඔප්පුව පාර්ශ්වකරුවන් සහ සාක්ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඇති නිසා එය ලියාපදිංචි කර දෙන ලෙසට ඉල්ලමින් ප්‍රසිද්ධ නොතාරිස්වරයා මගින් වගඋත්තරකරුවන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බව ද කියා සිටින පෙත්සම්කාරිය, එම අභියාචනයට අනුව ද වගඋත්තරකරුවන් 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ද සැල කර සිටී. පාර්ශ්වකරුවන් සහ සාක්ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඉදිරිපත් කරන ලද අංක 5493 දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම වග උත්තර කරුවන් ප්‍රතික්ෂේප කිරීම නිසා තමා දැඩි ලෙස අගතියට පත්ව සිටින බව ද සඳහන් කරන පෙත්සම්කාරිය වග උත්තරකරුවන් විසින් මුල් අවස්ථාවේදී මෙන්ම අභියාචනයේදී ද තම නමින් ඇති ඔප්පුවේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ද කියා තිබේ.

ඒ අනුව, මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසටත්, වග උත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන ලෙසටත්, අධිකරණයෙන් ඉල්ලා ඇති පෙත්සම්කාරිය, නොතාරිස්වරයා විසින් ලියා සහතික කරන ලද 5493 දරන තෑගි ඔප්පුව නොතාරිස් ආඥා පනතේ විධිවිධානයන්ට අනුකූලව සහතික කර ඇති ඔප්පුවක් බවට තීන්දු කරන ලෙස ද අයැද ඇත.  තෑගි ඔප්පුව නීතිය ඉදිරියේ වලංගු ලේඛනයක් බවට තීන්දු කරන ලෙසත්, තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම වගඋත්තරකරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙසත් අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා ඇති පෙත්සම්කාරිය, 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට වග උත්තර කරුවන්ට නියෝග කරන්නැයි ද ඉල්ලා තිබේ.

මෙම කරුණු සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු නදීකා ඩී. පියරත්න මහත්මිය, පෙත්සමේ වගඋත්තරකරුවන්ට ලබන මාර්තු මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින්, පෙත්සමට අදාළව වගඋත්තර එදින හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද තවදුරටත් නියෝග කළාය. හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජිප් රථ දෙකක අයිතිය ඉල්ලා, වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමකට සහ අටමස්ථාන කාරක සභාවට එරෙහිව 00081/එස්පී/2022 දරන නඩු අංකය යටතේ අනුරාධපුර දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන පේලි මුහන්දිරම් අප්පුහාමිලාගේ චන්දානන්ද යන අයගේ බිරිය විසින් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් විසින් ඇයට ප්‍රදානය කර ඇති තෑගි ඔප්පුව ලියාපදිංචි කර දෙන ලෙස ඉල්ලා 00082/එස්පී/2022 දරන නඩු අංකය යටතේ මෙම පෙත්සම අනුරාධපුර දිසා අධිකරණයට යොමු කර තිබීම විශේෂත්වයකි.

මෙම තෑගි ඔප්පුවේ සඳහන් කරුණු වලට අනුව හේරත් මුදියන්සේලාගේ දුලාංජලී දිනේෂා කුමාරි හෙරත් යන අයට 5493 අංක දරන අනුරාධපුර නගරයේ පළමු පියවරේ පිහිටි ඉඩමකට අදාළ තෑගි ඔප්පුව හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියන් විසින් තෑගි ඔප්පුවක් ලෙස ලියා දී ඇත්තේ, 2022.10.13 වන දින වන අතර, උන් වහන්සේ අපවත් වූයේ 2022.10.18 වන දිනය. ඒ අනුව, මෙම තෑගි ඔප්පුව සිරිනිවාස නාහිමියන් විසින් උන්වහන්සේ අවසන් වරට ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී ඇයට තෑගි කර ඇත්තේ, උන්වහන්සේ අපවත් වීමට දින පහකට පෙරය.
  උපාලි ආනන්ද 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top