පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. (PHOTOS)

putin

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර්එ හෙම කියන එක වැරැද්දක් නොවෙන්නේ ලෝකයේ ලොකුම රට රුසියාව නිසා. එපමණක්ම නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ලෝකෙට ලොක්කේක්.

පුටින්ට අභියෝග කරන්න බටහිර වගේම යුරෝපා රටවල් වුනත් එකපාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් වුනත් හිතනවා.

කවුරු කොහොම මොනවා කිව්වත් පුටින්ට විතරක් නෙමෙයි රුසියාවටම අමතක නොවන සිද්ධියක් පහුගිය දා සිද්ධ වුණා.

ඒ තමයි රුසියාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන පුටින්ගේ කුලී හමුදාව පුටින්ට එරෙහිවම අවි අතට ගැනීමයි.

වැග්නර් කියන්නේ පුටින්ගේ කුලී හමුදාව කියලා අපි කිව්වනේ.

හැබැයි පුටින්වත් අභියෝගයට ලක් කල වැග්නර් හමුදාවට නායකත්වය දෙන්නේ කවුද කියලා ටිකක් හොයලා බලන එක වටිනවා. ඒ තමයි යෙව්ගනි ප්‍රිගොෂින්.

1961 ජූනි 01 වෙනිදා රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හිදී උපත ලද යෙව්ගනි ප්‍රිගොෂින්ගේ දැන් වයස අවුරුදු 62 ක්. කුඩා කාලයේදීම පිය සෙනෙහස අහිමි වූ ප්‍රිගොෂින් හැදී වැඩුනේ මවගේ සහ මිත්තනිය භාරයෙයි.

අනතුරුව මවගේ දෙවන කසාදයේ සැමියා වන බාප්පා යටතේ ප්‍රිගොෂින් ක්‍රීඩා පුහුණුව ලැබුවා.

එහෙත් ක්‍රීඩාවට අසමත් වූ ඔහු තරුණ වයසට එලඹීමත් සමග දඩබ්බරයෙකු ලෙසයි කටයුතු කළේ.

එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රිගොෂින් අවුරුදු 18 දී සොරකමකට හසු වූ අතර ඔහුට අත්හිටවූ සිර දඬුවමක් නියම වුණා.

ඉන් අනතුරුව නැවතත් සොරකම් කිරීම, මංකොල්ලකෑම්, වංචා සහ අපරාධවලට නව යොවුන් වියේ දරුවන් සම්බන්ධ කිරීම මෙන්ම තවත් පිරිසක් සම්බන්ධ කර ගනිමින් මහල් නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් වරදකරුවකු වීම හේතුවෙන් ප්‍රිගොෂින්ට 1981 වසරේදී දොළොස් වසරක සිර දඬුවම් නියම වුණා.

1990 දී නිදහස ලැබූ ප්‍රිගොෂින් රැඳවුම් භාරයේ සිටි කාලය අවුරුදු 09ක්.

හිරෙන් නිදහස් වූ ප්‍රිගොෂින් සිය මව හා බාප්පා සමග මාර්ගයක් ආසන්නයේ හොට්ඩෝග් අලෙවි කිරීමට පටන් ගෙන තිබෙනවා.

එය සාර්ථක වීමත් සමග ප්‍රිගොෂින් තවත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර තිබෙනවා.

1991 වසර වනවිට ප්‍රිගොෂින් සාන්ත් පීටර්ස්බර්ග් නුවර පිහිටි සිල්ලර වෙළඳ ජාලයක කොටස් හිමිකරුවෙක්.

ඒ අතරතුර ප්‍රිගොෂින් ග්‍රැම්බ්ලින් සහ කැසිනෝ හරහා මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු බවට පත් වනවා.

එහි ප්‍රතිපලය වන්නේ ඔහුට කැසිනෝ සහ සූදු අධීක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරය දැරූ ව්ලැදිමීර් පුටින්ව මුණ ගැසීමයි.

ඒ දැනහැඳුනුම්කම ප්‍රිගොෂින්, පුටින්ගේ සමීපතමයෙකු බවට පත්කළා.

අනතුරුව 1995 වසරේදී ප්‍රිගොෂින් අවන්හල් ක්ෂේත්‍රයට පිවිසුනා.

ඔහු සාන්ත පීටර්ස්බර්ග් නගරයේ අවන්හල් කලාවට නව රටාවක් නිර්මාණය කල අතර පාවෙන අවන්හල් ද ඊට ඇතුළත්.

අනතුරුව ප්‍රිගොෂින් සාන්ත පීටර්ස්බර්ග් නුවර ඉදිකර ඇති කෘතිම දූපතක් නිව් අයිලන්ඩ් දූපතේ පාවෙන අවන්හලක් නිර්මාණය කළා.

23 649b7d2fe447b

දන්න හඳුනන ප්‍රිගොෂින්ගේ මේ වැඩේට ජනාධිපති ව්ලැදිමීර් පුටින් බෙහෙවින් කැමැත්ත දක්වන අතර 2001 දී, ප්‍රිගොෂින් ව්ලැඩිමීර් පුටින්ට සහ එවක ප්‍රංශ ජනාධිපති ජැක් චිරාක්ට නිව් අයිලන්ඩ් හිදී පුද්ගලිකව ආහාර පිළිගන්වනවා.

එමෙන්ම ප්‍රිගොෂින් 2002 වසරේදී අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ද තමන්ගේම වට්ටෝරුවලින් ආහාර පිළියල කර ඇති බවයි වාර්තා වන්නේ.

පුටින්ගේ දැනහැඳුනුම්කමට පිං සිද්ධ වෙන්න ප්‍රිගොෂින්ගේ අවන්හලට රුසියානු රජයේ උත්සව අවස්ථා,පාසල් සහ හමුදාව වෙනුවෙන් ආහාර සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන ගණනින් ලොකු ටෙන්ඩර් හිමිවූ අතර පුටින්ගේ උපන්දින සාද වල ආහාර ඇනවුම් ද ප්‍රිගොෂින්ගේ අවන්හලට වැරදුනේ නැහැ.

ඒ හේතුවෙන් එදා මෙදා තුර ලෝකයම යෙව්ගනි ප්‍රිගොෂින්ව හඳුන්වන්නේ පුටින්ගේ චෙෆ් ලෙසයි.

රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ ප්‍රතිපලයක් ලෙස ප්‍රිගොෂින් ධන කුවේරයෙකු බවට පත්වන අතර නීතිවිරෝධීව උපයන ලද වත්කම් හමුවේ ඔහු රුසියාවේ මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වූවන් අතර ඉහළින්ම පසුවන අයෙක්.

අනතුරුව වැග්නර් නමින් පුද්ගලික හමුදා කොන්ත්‍රාත් සමාගමක් පිහිටුවා ගන්නා ප්‍රිගොෂින් ඒ හරහා 2014 දී යුක්රේනයේ ක්‍රයිමියාව රුසියාවට ඈඳා ගැනීමට සහය දෙනවා.

ඊට අමතරව සිරියානු යුධ ගැටුම්වලට මුවාවී තෙල් නිධි අත්පත් කර ගැනීම, රුසියානු රජය වෙනුවෙන් ඔත්තු බැලීම, අමෙරිකානු ජනාධිපතිවරණ සඳහා මැදිහත්වීම් සිදුකිරීම සහ පුටින් විරෝධීන්ගේ ඝාතන සම්බන්ධයෙන් ප්‍රිගොෂින් ප්‍රධාන වැග්නර් හමුදාවට අදටත් පවතින චෝදනා වනවා.

එමෙන්ම අදටත් යෙව්ගනි ප්‍රිගොෂින් අමෙරිකාවේ FBI නිලධාරීන්ට අවශ්‍ය පුද්ගලයින්ගේ ලැයිස්තුවේ සිටින්නෙක්.

කෙසේවෙතත් පුටින්ගේ විශ්වාසවන්තම සගයෙකු ලෙස සැලකෙන යෙව්ගනි ප්‍රිගොෂින්ගේ වැග්නර් කුලී හමුදාවේ සෙබළුන් සඳහා රුසියානු හමුදාවටත් වඩා වැඩි වැටුප් හිමිවන බව ද සඳහන්.

23 649b7d30b92ca
23 649b7d319d3c2
23 649b7d2f88c31
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top